General Secretary’s Statement from London

ජිනීවා ප්‍රශ්නයේදී එජාපය ඉන්නේ රට සහ ජනතාව පැත්තේ තිස්ස අත්තනායක ලන්ඩනයේදී කියයි. දැනට පෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනයට පැමිණ ඉන්නා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ලංකාදීප එසැන පුවත් වෙත විශේෂ සකාච්චාවක් ලබා දෙමින් කියා සිටියේ ජිනීවා ප්‍රශ්නයේදී තම පක්ෂය ඉන්නේ සැමවිටම ” රට සහ ජනතාව” පැත්තේ බවයි. තම පක්ෂය කිසිවිටෙකත් ශ්‍රී ලංකාව හෝ අපේ ජනතාව අපහසු තාවයකට පත් කෙරෙන මොනම වැඩපිළිවෙල…ක් හෝ අනුමත නොකරන බව කී ඒ මහතා එවැනි දෙයකට තම පක්ෂයේ සහාය නොලබෙනබවද අවධාරණය කළේය. තවදුරටත් කරුණු දැක්වේ අත්තනායක මහතා කීවේ “ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව පිලිබඳ ප්‍රශ්නය අපි හොඳින් වටහාගැනීම ඉතාම වැදගත්. ගිය වසරේ ජිනීවා සම්මේලනයේදී සම්මතකරගත් යෝජනාවලීයට එහි ගිය ජී.එල්.පීරිස් සහ මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් අත්සන්කලා. ඒ මගින් එදා ඔවුන් පොරොන්දුවුයේ රජය මගින්ම පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවටයි. ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබාදී තිබුනා. රජය පොරොන්දුවූ පරිදි එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කලේ නැහැ. යුද්ධය පැවතී සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවූ බවට විවිධ චෝදනා ඉදිරිපත් කෙරුනා. මේවා ගැන පරීක්ෂණ පවත්වන්න ජාත්‍යන්තර සංවිධානවලට ඉඩදෙන්න අවශ්‍ය නැහැ. රජයේ වගකීම වෙන්නේ එහෙම දෙයක් නැහැ කීම නොව, මේ චෝදනා ගැන නිසියාකාරව පරීක්ෂණ පවත්වා චෝදනා ඉදිරිපත්කරන්නන්හට සත්‍යය පෙන්වාදීමයි. ශ්‍රී ලංකාවේ ශක්තිමත් හොඳ අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මකවීම ඉතාම වැදගත්. අද ඉතාම කනගාටුවෙන් කියන්න ඔනෑ අධිකරණයේ විශ්වාසනීත්වය බිඳ වැටිලා. මානව හිමිකම් උල්ලංඝනය ගැන මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම ගැන රජය දුන් ප්‍රතිඥා ක්‍රියාත්මක කර නැහැ. ලබන මාසයේ පැවැත්වෙන ජිනීවා සම්මේලනයේදී මේගැන විමසීමක් කෙරෙන බවයි අපට ආරංචි වන්නේ. ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර ප්‍රතිචාර එතරම් සුභදායී නැහැ. මේ අද ඉරිදා ඉන්දියාවේ පුවත්පත්වල පලවී තියෙනවා අගමැති කාර්යාලයේ වී.නාරායන් සාමි කල ප්‍රකාශයක්. ඒ අනුව ඉන්දියාව ජිනීවා සම්මේලනයේදී ඇමෙරිකාව ගෙන එන යෝජනාවට පක්ෂව චන්දය දෙන බවට ඉන්දියානු අගමැති මන්මෝහන් සිං ප්‍රකාශකර තියෙනවා. මේවා සැහැල්ලුවට ගතයුතු දේවල් නොවේ. ශ්‍රී ලංකාව මෙවැනි තැනකට තල්ලුකිරීමේ වගකීම පැවරෙන්නේ රජයටයි. මේ චෝදනා එල්ලවන්නේ රජයට මිස ජනතාවට නොවේ. මෙය හොඳින් තෙරුම්ගතයුතු කරුණක්. රජය මගින්ම පිහිටුවනලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් රජයට මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න පුළුවන්. “එක්සත් ජාතික පක්ෂය එසේ කියන්නේ අපගේ ජනතාව ආරක්ෂාකරගනීමට මිස රජය බේරා ගැනීමට නොවේ” යැයිද ඒ මහතා කීවේය. එක්සත් ජාතික පක්ෂය නිතරම රටේ පොදු ප්‍රශ්නවලදී ජනතාව සහ රට වෙනුවෙන් රජයට සහාය වූ බව කියන අත්තනායක මහතා ජිනීවා ප්‍රශ්නය ඔඩු යාමට හේතුවී ඇත්තේ රජයේ වරදින් මිස රටේ ජනතාවගේ වරදින් නොවන බව ද පෙන්වා දෙයි.